Chess ක්‍රීඩා කිරීමෙන් ලැබෙන ප්‍රයෝජන
බුද්ධිමතුන්ගේ ක්‍රීඩාව ලෙස හැඳින්වෙන චෙස් ක්‍රීඩාව (Chess Game) උපාය මාර්ගික හා සිතීමේ හැකියාවන් දියුණු කරන මනසින් කරන යුද්ධයකි. මේ නිසා චෙස් ක්‍රීඩාව තුළ ශාරීරික ක්‍රියාකාරකම් නොමැති සාම්ප්‍රදායික ක්‍රීඩාවන්ගෙන් වෙනස් වූ ක්‍රීඩාවක් වන අතර ලෝකයේ මිලියන 600ක පමණ දෙනා ක්‍රීඩා කරන ගෘහස්ත ක්‍රීඩාවන් අතරින් වඩාත් ජනප්‍රිය ක්‍රීඩාවක් වෙනවා. ඉතා වටිනා ප්‍රතිලාභ රැසක් තියෙන චෙස් ක්‍රීඩා කිරීමෙන් අපට ලැබෙන ප්‍රධාන වාසි කිහිපයක් පිළිබඳ සලකා බලමු.
01. ගැටලු විසඳීමේ හැකියාව දියුණු කරයි.
චෙස් ක්‍රීඩාවේදී ප්‍රතිවාදියාගේ උපායශීලී ඇදීම් වලට විසඳුම් සෙවීම මූලික වශ්‍යෙන් සිදුවේ. චෙස් ක්‍රීඩාව තරම් පුද්ගලයින්ගේ ගැටලු විසඳීමේ හැකියාව පහසුවෙන් දියුණු කළ හැකි වෙනත් ක්‍රීඩාවක් නොමැත. පාසල් යන සිසුන් ලෙස යම් අයෙකු ගණිත ගැටලු විසඳා ගැනීමට දුර්වල නම් ඔහු චෙස් ක්‍රීඩාවේ යෙදීම ඉතා හොඳ විසඳුමකි.
02. චෙස් ක්‍රීඩාව IQ අගය ඉහළ නංවයි.
IQ අගය කියල කියන්නෙ බුද්ධිමය හැකියාවන්ගේ ප්‍රමාණයයි. චෙස් ක්‍රීඩකයින්ගේ අයි කිව් අගය සොයා බැලීමට විවිධ සමීක්ෂණ සිදු කොට ඇත. වෙනිසියුලාවේ දෙවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් 4000කට මස හතර හමාරක පමණ කාලයක් චෙස් පුහුණුව ලබා අයි කිව් අගය සැලකිය යුතු ලෙස වෙනස් වී ඇති බව හඳුනාගෙන ඇත. ඒ විතරක් නෙවෙයි, බෙල්ජියමේ සිදු කරන ලද සමීක්ෂණයකදී චෙස් තරඟ ක්‍රීඩා කරන ක්‍රීඩකයින්ගෙ සාමාන්‍ය අයි කිව් අගය 121ක් ලෙස හදුනාගෙන ඇති අතර අයි කිව් අගය අනුව මුළු ජනගහනයෙන් හොඳම 8%ට අයත් වේ. ඒ අනුව චෙස් ක්‍රීඩාව බුද්ධිමය හැකියවන් වර්ධනය කරන ක්‍රීඩාවක් බව පැහැදිලිය.

03. මානසික ඒකාග්‍රතාවය තබා ගැනීම.
මානසික ඒකාග්‍රතාව, එහෙමත් නැත්නම් මනස එක අරමුණක තබා ගැනීමට චෙස් ක්‍රීඩාවෙන් හැකියාව ලැබෙනවා. චෙස් ක්‍රීඩා කරන විට එක් ඇදීමක දි අවධානය වෙනතකට යොමු වී සිදු කරන කුඩා වැරැද්දකින් තරඟ පරාජය වෙන්න පුළුවන්. එබැවින් චෙස් ක්‍රීඩකයින්ට සාමාන්‍ය මිනිසුන්ට වඩා හොඳින් මානසික ඒකාග්‍රතාවය පවත්වා ගන්න හැකියාව තියෙනවා.
04. ඉවසීම වර්ධනය වේ.
චෙස් ක්‍රීඩාවේදී එක් ක්‍රීඩකයෙකු උපායශීලී සැලසුම් අනුව ඇදීම් සිදු කරන විට අනෙක් ක්‍රීඩකයා ඉන් ආරක්ෂා වීමෙ සැලසුම් අනුව ඇදීම් සිදු කරයි. සාමන්‍යයෙන් චෙස් තරඟයක් සඳහ පැය තුනක පමණ කාලයක් හිමිවන බැවින් ඇතැම් විට එක් ඇදීමක් වෙනුවෙන් බොහෝ වේලාවක් බලා සිටීමට සිදුවේ. මේ නිසා චෙස් ක්‍රීඩාවෙන් ඉතා හොඳ ඉවසීමක් වර්ධනය වන අතර මෙය සාමාන්‍ය ජීවීතයේ ගැටලු බොහොමයකට ඉතා හොඳ විසඳුමක් බව ඔබ අප දන්නා කරුණකි.

05. ජය පරාජය සමසේ විඳ දරා ගැනීමට හුරු කරයි.
සියල්ලන්ම ජයග්‍රහණය වෙනුවෙන් තරඟ කරන නමුත් කාසියක දෙපැත්ත මෙන් එක් අයෙකු ජයග්‍රහණය කරන විට අනෙක් පුද්ගලයාට පරාජය වීමට සිදුවේ. සෙසු ක්‍රීඩාවන් වලදී කායික ශක්තිය වැය වෙනවා මෙන් චෙස් ක්‍රීඩාවේ දී මානසික ශක්තිය විශාල වශයෙන් වැයවේ. එම නිසාවෙන් තර්ඟ පරාජය වීමෙන් ලැබෙන දුක විඳ දරාගෙන ඊළඟ අවස්ථාවේදී වඩාත් හොඳින් තරඟ වලට මුහුණ දීමට චෙස් ක්‍රීඩා කිරීමෙන් හුරුවේ.

06. නිර්මාණශීලීත්වය වර්ධනය කරයි.
චෙස් ක්‍රීඩාවේදී උපක්‍රම හා සැලසුම් සකස් කරමින් සිදු කරන ඇදීම් තුළින් පුද්ගලයින්ගේ නිර්මාණශීලීත්වය වර්ධනය වේ.
ඒ වගේම චෙස් ක්‍රීඩකයින් සිදු කරන ඇදීම් තුලින් ඔවුන්ගේ ඇතුළාන්තය දකින්න පුළුවන්. ලැජ්ජාශීලී හා එතරම් ක්‍රියාශීලී නොවන පුද්ගලයින් චෙස් ක්‍රීඩාවේදී වඩාත් සංයමයෙන් තම ඇදීම් සිදු කරයි. ඒ වගේම සමාජශීලී හා නිර්භය පුද්ගලයින් චෙස් ක්‍රීඩාවේදී වඩාත් ආක්‍රමණශීලී ඇදීම් සිදු කරයි.

07. මතක ශක්තිය වර්ධනය කරයි.
චෙස් ක්‍රීඩාවේදී තරඟ ජයග්‍රහණය සඳහා චෙස් ආරම්භක ඇදීම්, උපක්‍රම හා තරඟ අවසන් කරන ක්‍රම පිළිබඳ මතක තබා ගැනීම වැදගත් වේ. ඒ වගේම ඇදීම් කිහිපයක් ඉදිරියට සිතමින් ක්‍රීඩා කිරීමේදී මතක ශක්තිය වර්ධනය වේ. මෙය චෙස් ක්‍රීඩාවට පමණක් නොව සාමාන්‍ය ජීවීතයේදී ද අතිශයින් වැදගත් වේ.


මේ ගැන ලිපියක් ලිව්වාට ස්තූතියි. ඇත්තටම චෙස් ක්‍රීඩාව කියන්නෙ සෑහෙන ප්‍රයෝජන තියෙන ක්‍රීඩාවක්.